Tuesday, March 28, 2017

පුස්කොළ පොත

ප‍්‍රවේශය

ලංකාවේ අක්ෂර භාවිතය පිළිබද සොයා බැලීමේදී මූලික වශයෙන් ඉන්දියානු ආභාෂයෙන් ලංකාවේ අක්ෂර භාවිතයට පැමිණි බව විද්වත් මතය වනුයේය. විද්වත් මතය මෙය වුවද එය කවදා කිනම් වූ ආකාරයෙන් භාවිතයට පැමිණියේද යන්න නිශ්චිත ලෙස පැවැසීම ගැටලූ සහගත වේ. පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍ර හා සාහිත්‍ය මූලාශ‍්‍රයන් උපයෝගී කොට ගනිමින් ලංකාවේ අක්ෂර භාවිතය ක‍්‍රි.පූ. 3 දී සිදුවූ මහින්දාගමනයත් සමග සිදු වන්නට ඇති බව පිළිගත් මතවාදයක් වනුයේය. නමුත් ඇතැම් විද්වතුන් පෙන්වා දෙනු ලබන්නේ මහින්දාගමනයට පෙර ලංකාවේ අක්ෂර භාවිතයක් තිබු බවයි. එය විශාල ලෙස විකාශනයට බදුන් වූයේ මහින්දාගමනයත් සමග බවය. ස්ථීර වශයෙන් මෙම මතවාදයන් පිළිගෙන නොමැති වුවත් එවා අසත්‍ය මත වාදයයැයි බැහැර කිරීමටද නොහැකිය. කෙසේ වුවත් මහින්දාගමනයත් සමග ඉන්දියානු අක්ෂර භාවිතයේ යම් විකාශනමය තත්වයක් ඇතිවූ බව සාමාන්‍ය පිළිගත් මතය වේ. මෙලෙසින් ලංකාවේ ඇතිවූ අක්ෂර භාවිතය විවිධ අවස්ථාවන්හී විවිධ කටයුතු සදහා භාවිතා වූහ. සාහිත්‍යමය කටයුතු, ආගම්ක කටයුතු, සමාජීය කටයුතු, ආර්ථිකමය කටයුතු ආදී වශයෙන් බහුල වූ භාවිතයක් අතීතයෙදී සිදු විය. මේ අකාරයෙන් විවිධ අවස්ථාවන්හීදී අක්ෂර භාවිතය සිදු විය. මෙලෙසින් අක්ෂර භාවිතයේදී එම අක්ෂර ලිවීම සදහා විවිධ වූ ද්‍රව්‍යන් භාවිතයට ගන්නා ලදී. ආගමික වශයෙන් සිදු වූ වාසස්ථානයන් පරිත්‍යාගයන්හී ශිලා භාවිතයෙන් අක්ෂර ලියා දක්වන ලදී. යම් යම් නිතී අන්තර්ගත කරමින් ශිලා පුවරු භාවිතා කරමින් අක්ෂර ලියා දැක්වීමක් දැකිය හැකිය. සාහිත්‍යමය වශයෙන් ග‍්‍රන්ථ රචනයේදී පුස්කොළ භාවිතයට ගන්නා ලදී. මේ අනුව අක්ෂර භාවිතයේදී  එය ලියා දැක්වීම සදහා අතීතයේදී පුස්කොළ භාවිතය බහුල වශයෙන් සිදු විය. අතීතයේදී රචනා කරන්නට යෙදුණු බොහෝ කරැණු ශිලා පර්වතයන්හී වර්තමානය තෙක් සුරක්ෂිතව පවතී. මේ ආකාරයටම ඉතා සුරක්ෂිතව ආරක්ෂිතව පවතින ද්‍රව්‍යාත්මක දෙයක් වශයෙන් පුස්කොළ දැක්විය හැකිය. 

පුස්කොළ පොත් භාවිතය

පුස්කොළ පොත්  යනු බොහෝ කාලීන වශයෙන් ලාංකීය සමාජයේ භාවිතයට පත් වූ භාවිතා වන්නාවූ ද්‍රව්‍යාත්මක ලේඛන ද්‍රව්‍යකි. පුරාවිද්‍යාත්මක හා සාහිත්‍යමය සාධකයන් ඇසුරෙන් ඒ බව තහවුරු වන්නා වූ සාධකයන්ද දැකිය හැකිය. අනුරාධපුර ඇතුළු නුවර ගෙඩිගේ කැණීමෙන් සොයා ගන්නා ලද අස්ථි භාවිතයෙන් නිර්මාණය කරන ලද දෙය,  ආචාර්ය සිරාන් දැරණිය ගල මහතා පෙන්වා දෙනු ලබන්නේ පුස්කොළ ලිවීමට භාවිතා කරන්නාවූ ‘‘පන්හිද’’ බවකි. මෙම ලේඛන ද්‍රව්‍ය බොහෝ කාලයක සිට භාවිතා වූවාසේම භාවිත වූ ලිය කියවිලි ආරක්ෂා සහිතව දැක ගත හැකිවේ. මෙලෙසින් ආරක්ෂා සහිතව දැක ගත හැකි පුස් කොළ පොත් අතර කුරුණෑගල යුගයේ ලියවුණු පන්සිය පනස් ජාතක පොතපේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඇති අංගම්මන රන්පන්හිද දිවාකර මුදියන්සේගේ වල විත්ති ආදී පුස් කොළ මෙම ගණයට අයත් වේ. මූලික වශයෙන් අතීතයේ සිට පැවැත වර්තමානයේ පවා ලේඛනයේ භාවිතා වන්නාවූ මෙම පුස්කොළ පිරිත් පොත් වහන්සේ නිර්මාණය කිරීම, යම් යම් ශ‍්‍රාස්ත‍්‍රීය කටයුතු සදහා භාවිතා වනු ලැබේ. මූලික වශයෙන් වර්තමානයේ අවම ප‍්‍රතිශතයකින් යුත්තව පුස් කොළ පොත් භාවිතා වේ.

පුස්කොළ පොත් භාවිතයේදී එහි කල්පැවැත්ම ඉතා වැදගත් වූ සාධයකි. කඩදාසි භාවිතයෙන් නිර්මාණය කරන ලද ග‍්‍රන්ථයන්ට සාපෙක්ෂව මෙම පුස්කොළ පොත් ඉතා ඉහළ තත්වයකින් යුත්ත වේ. අවුරුදු සියයක් පමණ වුව සුළු නඩත්තුවකින් යුත්තව ආරක්ෂා කර ගැනීමට මෙම පුස්කොළ පොත් හැකිවේ. මෙලෙස බොහෝ කාලයක් ආරක්ෂා වීම සදහා හේතු සාකයන් වනුයේ මූලික වශයෙන් පුස්කොළ පොත නිර්මාණය ආරම්භයේ සිදු කරනු ලබන ක‍්‍රියාවලිය හේතු කොටගෙනය. මෙම කි‍්‍රයාවලිය නිසි ලෙසින් සිදු නොකරන්නේ නම් නිර්මාණය වන්නාවූ පුස්කොළ පොත විනාශය කරා ගමන් කරනුයේ නිසකයෙනි. මෙලෙස පුස්කොළ පොත් නිර්මාණය කිරීමේදී එහි කල්පැවැත්ම උදෙසා විවිධ වූ ක‍්‍රම වේදයන් භාවිතයට ගනු ලැබේ. මූලික වශයෙන් එහිදී සම්ප‍්‍රදායික හා නවීන ක‍්‍රමවේදයන් භාවිතයට ගනු ලැබේ.  මූලික වශයෙන් පුස්කොළ නිර්මාණයන්ගේ කල්පැවැත්ම උදෙසා භාවිත වන සම්ප‍්‍රදායික හා නවීන තාක්ෂණික ක‍්‍රම වේද යොදනු ලැබේ

සම්ප‍්‍රදායික වශයෙන් පුස්කොළ පොත් කල් තබා ගැනීමේ ක‍්‍රමවේදය

අතීතයේ සිට පුස්කොළ පොත් ආරක්ෂාකර ගැනීමට විවිධ වූ ක‍්‍රම වේදයන් භාවිතයට ගැනුණි. මෙහිදී විවිධ වූ අවස්ථාවන්හීදී විවිධ කාර්යන් සිදු කරමින් එම ක‍්‍රියාව සිදු කරන ලදී. මූලික වශයෙන් එම කි‍්‍රයාකාරකම් දෙස බැලීමේදී ළපටි තල් ගොබය තම්බා ගැනීමේ අවස්ථාව, එය මැනවින් පදම් කිරීම හා පුස්කොළ නිර්මාණයෙන් අනතුරුව ක‍්‍රියාවලිය යන ක‍්‍රමයන් මගින් පුස්කොළ ආරක්ෂාව සිදු වන බව පෙන්වාදීමට හැකි වන්නේය. 

ළපටි තල් ගොබය කපා ගැනීම,තම්බා ගැනීමේ අවස්ථාව හා කළු මැදීමේ අවස්ථාව

තල් ගසට නියම්ත වූ ගෞවරනීය කෙම් ක‍්‍රමයන් සිදු කිරීමෙන් අනතුරුව පුද්ගලයකු හෝ පුද්ගලයන් දෙදෙනෙකු ගස වෙත ගමන් කිරීමෙන් අනතුරුව නියමිත වූ තල් ගොබය නිසි ලෙස වැඞී ඇති දැයි සොයා බලනු ලැබේ. නියමිත වූ ප‍්‍රමාණයට තල් ගොබය වැඞී නොමැත්තේ නම් තල් ගොබය නොකපන බව මෙම අධ්‍යනයේදී තහවුරු කර ගැනීම සදහා හැකි විය. සාමාන්‍යයෙන් මෙම නිර්මාණකරණයේ යෙදී සිටින පිරිස් බොහෝ විට පෙන්වා දෙනු ලබන්නේ මෙම තල් පත් නිර්මාණය සදහා අවම වශයෙන් මාස 1-2 අතර තල්පතක් විය යුතු බවය. තල් ගොබය මේරීමේ කාලය ද දේශගුණික හා අනෙකුත් සාධක මත වෙනස් වන බව ඔවුන් ප‍්‍රකාශ කරන අතර අවම මේරීමක් සහිත වූ තල් ගොබය හා වැඩි මේරීමක් සහිත වූ තල් ගොබය තල් පත් නිර්මාණයේදී අවම වශයෙන් යොදා ගැනීමට කටයුතු කරනු ලැබේ. නියමිත වූ ලෙස මේරීමට පත් වූ තල් ගොබය මගින් නිර්මාණය කරනු ලබන පුස්කොළ පොත් බොහෝ කල් ආරක්ෂා කර ගැනීමට හා පහසුවෙන් නම්‍ය ශීලීභාවයට පත් කර ගැනීමට හැකි බව තල් පත් නිර්මාණ කරුවන් විසින් පෙන්වා දෙනු ලැබේ. සාමානයෙන් හොදින් මේරීමට පත් තල් ගොබය අඩි 12-18 ප‍්‍රමාණයකින් යුක්ත වන බව පෙන්වා දෙනු ලැබේ. මෙහි ඇති සම්ප‍්‍රදායික තතු නම් ඔවුන් විසින් ප‍්‍රකාශ කරනුයේ අතීතයේ සිට තම පරම්පරාවන් පුස්කොළ නිර්මාණය සිදු කරන්නේ නම් මෙම කරුණු බොහෝ දුරට අනුගමනය කරන බවයි. මෙහිදී මැනවින් මේරීමට පත් වූ තල් ගොබය තුළ අඩංගුවන පුෂ්ඨිමය කොටසේ ඇති පිටි වැනි කොටස සමග තැම්බීමේදී ඇතිවන ක‍්‍රියාවලිය හේතුවෙන් පුස්කොල පොත බොහෝ කාලයක් තබා ගැනීමේ හැකියාවෙන් යුක්ත වන බව පෙන්වා දෙනු ලැබේ. ගොබය කපා ගැනීමෙන් අනතුරුව ඉතා සෙමින් මෙය බිමට බෑම සිදු කරනු ලැබේ. මෙහිදී මූලික වශයෙන් බිමට ගත් තල් ගොබය තද හිරු එළියේ තබා නොගනිමින් තල් ගොබය තැම්බීම සදහා කටයුතු සිදු කරනු ලැබේ. තල් ගොබය සුදුසු පරිදි නිර්මාණය කර ගැනීම හා එහි ආරක්ෂාව සදහා සිදු කරනු ලබන දෙවැනි ක‍්‍රියාවලිය වශයෙන් මෙය පෙන්වාදීමට හැකි වන්නේය.

මූලිකව තල් ගොබය පුස්කොළ සෑදීමේදී තැම්බීමට බදුන් කරනු ලැබේ. මෙම තැන්බීම සිදු කිරීමේදී බොහෝ දුරට අතීතයේ සිට සිදු කරනු ලබන මූලික ක‍්‍රමවේදයන්ට අමතරව යම් යම් විශේෂතා මෙහිදී දැක ගැනීමට හැකි විණි. මූලික වශයෙන් තල් කොළ කපා ගැනීමෙන් අනතුරුව එවා මැනවින් සකස් කොට (වට්ටු ගැසීම) අනතුරුව පුස්කොළ පොතේ ආරක්‍ෂාව සදහා මූලික වශයෙන් තැන්බීමේ ක‍්‍රියාවලිය සදහා යොදන බව පෙන්වා දෙනු ලැබේ. මෙම වට්ටු තැන්බීමේ ක‍්‍රියාවලිය ඉතා සංකිර්ණ කි‍්‍රයාවලියක් වශයෙන් ඔවුන් පෙන්වා දෙනු ලැබේ. නියමිත ලෙස නිර්මාණය නොකරන වට්ටු ඇතැම් විටදී නියමිත ක‍්‍රියාවලියට බදුන් නොවන බව ඔවුන් විසින් පෙන්වා දුන්නේය. මෙහි අදහස වන්නේ යම් ලෙසකට වට්ටු නිර්මාණය සිදු කිරීමේදී අධික ලෙස එම වට්ටුව හිර වන ලෙස බැදීමට ලක් කළ හොත් තැන්බීමේදී ඇතිවන ක‍්‍රියාවලිය නිසිලෙසින් සිදු නොවන බවයි. එහිදී නියමිත ප‍්‍රමාණයට ලිහිල් ලෙස මෙම වට්ටුව නිර්මාණය කළ යුතු බව පෙන්වා දෙනු ලැබේ. මෙහිදී ඔවුන් සාමාන්‍යයෙන් රවුමට බැ`දි තල් කොළ අතරින් පොල් ඉරටුවක් යැවීමට හැකි වන්නේද එම ප‍්‍රමාණයට අමු තල් කොළය වට්ටු ගැසීමේදී නිර්මාණ කිරීමට බලාපොරොත්තු වනු ලැබේ. මෙයින් පුස්කොළ පොත් නිර්මාණය කරන්නන් බලාපොරොත්තු වන්නේ නිසි ලෙසින් රවුමට ඔතන ලද තල් කොළ අතරට (වට්ටු) තැම්බිමේදී නියම්ත වූ ලෙසින් තල් කොළය ආරක්ෂා වීම සදහා අවශ්‍ය වනු ලබන ඖෂධීය සාරය ගමන් කොට කොළයේ සෑම තැනකම ආවරණය වන ලෙසින් ක‍්‍රියාකිරීමට හැකි වීමටය. මෙම ක‍්‍රියාවලිය වලියේදී දේශිය පැළෑටි, මුල්, කොළ ආදීය භාවිතයට ගනු ලැබේ. මූලික වශයෙන් වට්ටු ගැසීමෙන් අනතුරුව මෙම වට්ටු තැම්බීමේ ක‍්‍රියාවලියට ලක් කරන තෙක් වතුර දමමින් එහි ළපටි බව ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන බව ස`දහන් කරනු ලැබේ. එසේම සම්ප‍්‍රදායික වශයෙන් මෙම වට්ටු තැන්බීමේදී වට්ටු තැන්බීමට ගන්නා භාජනයේ කෙළින්ම තැන්පත් නොකරන බව පෙන්වා දිය හැකිය. මෙහීදී දේශීය ඖෂධ සාරයෙන් යුත් පැළෑටි ආදීය තැන්බීමට බදුන් කරනු ලැබේ. අනතුරුව මෙම සකස් කළ වට්ටු තැන්පත් කරනු ලැබේ. මෙහීදී සම්ප‍්‍රදායක වශයෙන් ගනු ලබන ඖෂධීය ද්‍රව්‍ය අතර පැපොල් කොළ හා ළපටි ගෙඩි, අන්නාසී කොළ(ළපටි),කැප්පෙටියා, බිලි කොළ, ආදී දේවල් භාවිතයට ගනු ලැබේ. මෙම දේවල් සම්ප‍්‍රදායික වශයෙන් පුස්කොළ තැන්බීමේ ක‍්‍රියාවලියේදී භාවිත දේවල්ය.

මෙම භාවිතයට අමතරව මෙම පිරිස විසින් කැටකාලා පොතු ආදීය මෙයට එකතු කරනු ලැබේ. මෙය බොහෝ තැන්වල දක්නට නොලැබෙන දෙයක් අතර මෙම පිරිසගේ ක‍්‍රම වේදයන් අතරේ දැකිය හැකි ලක්ෂණයකි. 
පැපොල් කොළ හා ළපටි ගෙඩි භාවිතාය පිළිබද ඔවුන් ප‍්‍රකාශ කර සිටියේ මෙම ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් මූලික වශයෙන් පැපොල් ශාකයේ විෂ නැසීමේ හැකියාවකින් හා යම් දෙයක පිරිසිදු බව ආරක්ෂා කර දීමට හැකි ගුණයෙන් යුත්ත වන බවයි. මෙම තල් කොලවල වල ඇති ක්‍ෂද්‍ර කෘමීන්ගේ ක‍්‍රියාකාරිත්වට නැති කිරීම සදහා මෙම ඖෂධීය ද්‍රව්‍යන් භාවිතා කරමින් රත් කිරීමේ කි‍්‍රයාවලියට බදුන් කරන බවත් මෙහිදී පැපොල් ගෙඩි හා කොළ වලන් එම කි‍්‍රයාකාරිත්වය මැනවින් සිදු වන බව ඔවුන් පෙන්වා දෙනු ලැබේ. එසේම තල් කොළ යම් ආකාරයකය වැඩි මේරීමකින් යුත්ත වන්නේ නම් වැඩි වශයෙන් පැපොල් කොළ හා ළපටි ගෙඩි අඩංගු කරවන බව සදහන් කෙරුණි. වැඩි මේරීමකට පත් හා තල් කොළ සමාන වශයෙන් මෙලෙක් තත්වයට පත් කිරීමේ හැකියාවකින් යුත්ත වන බව ඔවුන් විසින් ප‍්‍රකාශ කෙරුණි. මෙහිදී යම් ආකාරයට පුස් කොළ පොතේ ආරක්ෂාව සදහා එය හේතුවන බව ඔවුන් විසින් ප‍්‍රකාශ කළ අතර එහිදී පුස් කොළ තැන්බීමෙන් අනතුරුව යම් ආකාරයකට නැමීමට හා ලිවීමට හේතුවන බැවින් නැමීමේදී පුස්කොළ ඉරීමට හා කැඞීමට ඇති ප‍්‍රතිශතය අඩු බව පෙන්වා දුන්හ. මෙමගින් පුස් කොළ පොතේ ආරක්ෂාව හා කල් පැවැත්ම සදහා යම් ප‍්‍රමාණයකට හේතුවක් වන බව නිසාය.

එසේම පැපොල්වල ඇති කිරි හේතුවෙන් ජලය සමග මිශ‍්‍රණය වී මූලික වශයෙන් තල් කොළවල ඇති තල්පත දිරායාමට ඇති අහිතකර දෑ එසේම තල් පත්වල පිරිසිදු බව ඇති කිරීමට මෙය සමත් බව පෙන්වා දිට හැකිය. පිරිසිදු බව හේතුවෙන් කොළයේ මූලික වර්ණය ඉස්මතු කිරීමට හැකි වන බව පෙන්වා දීමට හැකි වන්නේය. අන්නාසී කොල ද මේ හා සමාන වූ ක‍්‍රියාදාමයක් සිදු කරන බවට සදහන් වේ. මූලික වශයෙන් කොළ මොලොක් බවට හා කොළවල පුස් හා අනෙකුත් ක්‍ෂද්‍ර ක‍්‍රියා නැවැත්වීම සදහා මෙම ද්‍රව්‍ය හේතුවන බව පෙන්වා දෙනු ලැබේ. මෙම නිර්මාණයන් සිදු කරන පුද්ගයන්ගේ ප‍්‍රකාශය අනුව මූලික වශයෙන් තල් කොළ හා මැනවින් මිශ‍්‍රවන කැප්පෙටියා යුෂ හේතුවෙන් පසු කාලීනය වේයන්, කුහුඹුවන්, පොත් කාවන් වැනි කුඩා කෘමින්ගේ විනාශය අවම වීමට මෙය බලපාන බවයි. බොහෝ විට පුස්කොළ පොත් විනාශ වනුයේ කුඩා කෘමි සතුන්ගෙන් බව පෙන්වා දෙන ඔවුන් ඒ සදහා මෙවැනි ක‍්‍රම වේදයන් භාවිතා කරන බවට සදහන් කරනු ලැබේ.

විශේෂ වශයෙන් පෙන්වා දිය හැකි කරුණු වනුයේ මූලික වශයෙන් කැටකාලා පොතු එකතු කිරීමයි. මෙම එකතු කිරීම කුමක් සදහා හේතු වන්නේද යන්න පිළිබද ප‍්‍රකාශ කිරීමේදී මූලික වශයෙන් ඔවුන් සදහන් කරන ලද්දේ මෙයින් විශාල වූ ක‍්‍රියාදාමයක් සිදු වන බවය. මෙම කැටකාලා පොතු උෂ්ණ ජලයේ ක‍්‍රියාකාරිත්වය සමගින් මූලික වශයෙන් නියමිත වූ පරිදි තල් කොළයේ පදම සදහා හේතුවන බව ප‍්‍රකාශ කළේය. එය තවදුරටත් විස්තර කරන්නේ නම් තල් කොළයේ ඇති මැද ඇති පුෂ්ඨිමය ගතිය මැනවින් ආරක්ෂා වීම හා එය මැනවින් නම්‍ය ශීලී බවට පත්වන බව පෙන්වාදිය හැකිය. මෙම පොතු එකතු කිරීම මගින් තල් කොළයේ ස්තර දෙක අවශ්‍ය ප‍්‍රමාණයට ශක්තිමත් වන බවද එහිදී පන්හිද භාවිතයේදී අධික ලෙස අක්ෂර කපා ගොස් යට ස්තරය දක්වා ගමන් කිරීම වැළක්වීමට හැකි බවයි. එසේම තල් පතට අවශ්‍ය වන නියම වර්ණය ලැබීමට බිලිං කොළවල ඇති රසායනික තත්වය මත කැටකාලා වර්ණයේ ක‍්‍රියාකාරිත්වය හේතුවන බවයි. මෙම රසායනික ක‍්‍රියාකාරිත්වය හේතුවෙන් ඇතිවන වර්ණය සමානයෙන් තල් පත් වල දැකීමට හැකි වර්ණය නමුත් මෙය ඇති වනුයේ තල්පත් නිර්මාණය කොට ටික කළකට පසුව බව පෙන්වා දෙනු ලැබේ. මේ ආකාරයෙන් තැම්බීමේදී ඔවුන් විසින් විශේෂිත ක‍්‍රමයක් වශයෙන් මද ගින්දර යටතේ පැය 6- 10 අතර ප‍්‍රමාණයක් මෙම තල් පත් තම්බා ගනු ලැබේ. බොහෝ විට මෙම කටයුත්ත සිදු කරන්නේ ඉතා ගෞරවනීය තත්වයක් යටතේය. බොහෝ විට ගස් සෙවණ ඇති ස්ථානයක දර ලිපක් නිර්මාණය කොට උදයේ කාලයේ සිට සවස් වනතුරු මෙම කර්තෘවය සිදු කරනු ලැබේ. බොහෝ විට වර්තමානයේ මෙම නිර්මාණයන් සිදු කිරීමේදී පැය 2-3 අතර කාලයක් තල් පත් තැන්බීමේ කි‍්‍රයාවලිය සිදු කරනු ලැබේ. නමුත් මෙහි යම් ආකාරයකට වෙනස් බවකින් යුත්ත වේ. ඒ පිළිබද අදහස් විමසීමේදී ඔවුන් සදහන් කරනු ලැබුවේ නියම්ත ප‍්‍රමාණයට වඩා ගින්දර වැඩිවීම මගින් හා ඉතා ඉක්මන් කාලයක් ඇතුළත තල් පත් තම්බා ගැනීම හේතුවෙන් මූලික වශයෙන් මැනවින් තල් පත් වලට ඖෂධීය සාරය උරාගැනීම සිදු නොවන බවත් එසේම අධික ගින්දර හේතුවෙන් හුමාලය මගින් ඖෂධීය මට්ටම බාල වී පිටට යන බවත් එම හේතුව නිසා මෙලෙස සමාන්‍ය බවකින් යුත්තව ගින්දර බෙහෝ වේලාවක් යෙදීම මගින් නියමිත වූ තත්වයට තල්කොළ තම්බා ගැනීමට හැකි බවත් පැය 2-3 කින් තම්බා ගන්නා තල් කොළ වලට වඩා මේවායේ කල් පැවැත්ම ඉතා ඉහළ මට්ටමකින් යුත්ත වන බව පෙන්වා දෙනු ලැබේ.

මෙම ක‍්‍රියාවලියේදී මූලික වශයෙන් තල් පත් වල අනාගත සුරක්ෂිතතාවය සදහා යම් වූ දායකත්වයක් ලැබෙන තහවුරුවේ. මෙය සම්ප‍්‍රදායික වශයෙන් තවමත් ක‍්‍රියාවට බදුන් වන දෙයක් වන අතර මූලිකව තල් පත් තැම්බීමේ කි‍්‍රයාවලියෙන් අනතුරුව කෙබදු ආකාරයෙන් තවදුරටත් පුස්කොළ පොතේ ආරක්‍ෂාව උදෙසා කෙබදු වූ ක‍්‍රියාමාර්ග ගනු ලබන්නේද යන්න පිළිබද සොයා බැලීමේදී පුස් කොළ පොත් වල කළු මැදීමේ අවස්ථාවද සුවිශේෂි අවස්ථාවකි. මෙම පුස් කොළ පොත් නිර්මාණය කරන්නන් විසින් කෙබදු වූ ආකාරයෙන් මෙම කළු මැදීම සිදු කරන්නේද යන්න පිළිබද සොයා බැලීමේදිී මූලික වශයෙන් කළු මැදීම සදහා ඔවුන් විසින් දොරණ තෙල්, ගැඩුම අගරු, කුරක්කන්, දුම්මල ආදී වශයෙන් සාමාන්‍යයෙන් පුස්කොළ පොත් කළු මැදීමේදී භාවිතයට ගනු ලබන ද්‍රව්‍යන් ගනු ලැබේ. මෙහිදී යම් විශේෂිත කරුණු දැන ගැනීම නොලැබුණු අතර සාමාන්‍යයෙන් කළු මැදිමේදී භාවිතයට ගනු ලබන ද්‍රව්‍යන් හේතුවෙන් යම් ආකාරයක ආරක්‍ෂාවක් පුස්කොළ පොත් සදහා ලැබෙන බව සදහන් කරනු ලැබේ. මෙහිදී මෙම කළු මැදීමේදී භාවිත වන දොරණ තෙල් හා ගැඩුබ අගරු මගින් ඇතිවන ගන්ධය මගින් කෘමි සතුන් පලවා හැරීමක් සිදු වන බවයි. දොරණ තෙල් දිගුකල් පැවැත්මෙන් යුත්ත වන බැවින් පුස්කොළ ආරක්ෂාව මෙය හේතුවක් වන්නේය. යම් ආකාරයකින් මෙම කළු මැදීම නිසි ලෙසින් සිදු නොවන්නේ නම් එයින් යම් අකාරයකින් පුස්කොළ පොත විනාශය ඉතා ඉක්මනින් සිදු වීමට ඉඩ ඇති බව මාගේ මතය වනුයේය. උක්ත ආකාරයේන වර්තමානයේ යම් යම් වූ වෙනස් ක‍්‍රම වේදයන් භාවිතයට ගනිමින් මූලික වශයෙන් පුස්කොළ පොත් අත්‍යවශ්‍ය වූ විට නිර්මාණය කිරීමට කටයුතු සිදු කරන බව මැනවින් දැක ගැනීමට හැකි වුවත් නිර්මාණ කරුවන් විසින් පෙන්වා දෙනු ලබන්නේ වර්තමානය විට මෙය තවදුරත් ඉදිරියට රැගෙන යෑමට අවිනිශ්චිත වූ තත්වයක් මත තිබෙන බවකි. මෙහිදී එයට හේතු වශයෙන් පෙන්වා දෙනු ලැබුවේ වර්තමානයේ කඩදාසී භාවිතයෙන් නිර්මාණය කරනු ලබන පුස්කොළ පොත් බිහි වීමත් මෙම නිර්මාණයන් වැඩි දියුණු කිරීමට නිළධාරීන්ගේ යම් වූ මැදිහත් වීමක් නොමැති හා අනාගත පරපුර මෙම නිර්මාණයන් නිර්මාණ කිරීමෙන් ඈත් වී යාමත්ය.

උක්ත කරුණු අනුව පෙනී යනු ලබන්නේ සම්ප‍්‍රදායිකත්වය මූලික කොට ගනිම්න් පුස්කොළ පොත්නි ර්මාණය තවමත් සිදු වන අතර මෙහිදී මෙම පුස්කොළ පොත් වල ආරක්ෂාව සදහා එය නිර්මාණය කිරීමේදී කෙබදු වූ කි‍්‍රයා පිළිවෙතක් අනුගමනය කරණු ලබන්නේද යන්න පිළිබද දළ වශයෙන් පෙන්වා දිය හැකිය.


Thursday, April 21, 2016

රජගල පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයෙන් හමුවන පූර්ව බ්‍රාහ්මී ශිලා ලේඛන පිළිබඳ මූලික අධ්‍යයනයක්

ගම්පොල විජය හිමි

පූර්විකා

ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදැරීමේදී පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වැදගත් ස්ථානයක් හිමිකර ගනියි. පුරාවිද්‍යා මූලාශ්‍ර අතරින්ද ශිලා ලේඛනයන්ට ප්‍රමුඛ ස්ථායක් ලැබේ. ලංකාවේදී විවිධ යුගයන්ට අයත් ශිලා ලේඛන හමුවී ඇත. මේ අයුරින් හමුවන ශිලා ලේඛනයන්හි අන්තර්ගතයෙන් ලංකා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කිරීමට සමත්ව ඇත. මේ අකාරයෙන් ලංකා ඉතිහාසයේ වැදගත් වූ ඓතිහාසික සංසිද්ධීන් සම්බන්ධ ශිලා ලේඛන සාධක හමුවන ස්ථානයක් වශයෙන් රජගල පුරාවිද්‍යා ක්‍ෂේත්‍රය දැක්විය හැකිය. පූර්ව බ්‍රාහ්මී යුගයට අයත් ශිලා ලේඛන බහුල වශයෙන් හමුවන රජගලින් ලංකා ඉතිහාසයේ වැදගත් සංසිද්ධියක් වන මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය තහවුරු කරනු ලබන ශිලා ලේඛනයක්ද හමු විය. එසේම භික්ෂූන් උදෙසා පුජා කළ ලෙන් පිළිබඳ සඳහන්ව ඇති  ශිලා ලේඛනද ලෙන් ආශ්‍රිතව දැකිය හැකිය. මේ අනුව රජගල පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ ශිලා ලේඛන පිළිබඳ මූලික අධ්‍යයනයක් සිදු ඳ කිරීම මෙහි පරමාර්ථයයි.

රජගල විහාරය

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රදේශීය සභා බල ප්‍රදේශයේ රජගලතැන්න ග්‍රාම සේවා වසමේ පිහිටා ඇති රජගල වනාහි ලංකාවේ දැකිය හැකි වැදගත් පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයකි. ක්‍රි.පූ. 1වන සියවසේ සිට ක්‍රි.ව. කාලය දක්වා වූ ශිලා ලේඛන ගණනාවක් තත් පුරාවිද්‍යා ක්‍ෂේත්‍රය ආශ්‍රිතව දක්නට හැකිය. ඳටුගැමුණු රජතුමාගේ සහෝදරයෙකු වන සද්ධාතිස්ස කුමරුගේ පුත්‍රයා වන ලජ්ජිතිස්ස රජතුමා විසින් ක්‍රි.පූ. 119-109 වැනි කාලයේ මෙම විහාර සංකීර්ණය ආරම්භ කළ බව මහා වංශයේ සඳහන් වෙයි.  ලජ්ජිතිස්ස රජතුමාගේ කාලයේ ස්ථාපනය කළ ශිලා ලේඛන සහිත ලෙන් ගණනාවක් මෙම පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ දැකිය හැකි අතර අනුරාධපුර යුගයේ රජගල විහාර සංකීර්ණය විවිධ වූ නාමයන්ගෙන් හඳුන්වා ඇත. ගිරි කුම්බල විහාරය, අරියකර විහාරය, අරිත්තර විහාරය, තිස්ස පබ්බත, රචගල ආදී වූ නාමයන්ගෙන් තත් විහාරය පිළිබඳ දීපවංශය, මහාවංශය, සහස්ස වත්ථුප්පකරණය, සිංහල වත්ථුව ආදී වූ ග්‍රන්ථයන්හි සඳහන් වී ඇත. රජගල පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයෙන් හමුවන අභිලේඛනයක දැක්වෙනුයේ තත් විහාරය “ධනතිස පවත” යනුවෙන් හැඳින් වූ බවකි. මෙම රජගල පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ විශාල වශයෙන් ආරාම සංකිර්ණයක් වූ බව වර්තමානයේ දක්නට ලැබෙන සාධකයන් ඇසුරෙන් පෙන්වාදිය හැකිය. අතීතයේ ග්‍රාමවාසී හා වනවාසී වශයෙන් කොටස් දෙකකින් යුක්තව පැවැති බව පුරාවිද්‍යා සාධක මඟින් තහවුරු වේ. මිහිඳු මහරහතන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කොට කළු ගල් භාවිතයෙන් නිර්මාණය කළ චෛත්‍යක්ද මෙම පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ දක්නට ලැබේ.

මෙවැනි ඓතිහාසික පසුබිමකින් යුක්ත වූ රජගල භූමියේ විශාල වශයෙන් පුරාවිද්‍යාත්මක සාධක දක්නට ලැබේ. ආරාම, පොහොය ගෙවල්, ගල් පාත්‍රා, බුඳ පිළිම, චෛත්‍ය, පොකුණු, ශිලා ලේඛන ආදී වශයෙන් එම නිර්මාණ දැක්විය හැකිය. මෙම පුරාවිද්‍යා සාධක අතරින් ශිලා ලේඛන ඉතා වැදගත් තැනක් ගනු ලැබේ. පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ විවිධ තැන්හි විවිධ යුගයන්ට අයත් ශිලා ලේඛන දක්නට ලැබේ. ඇතැම් ශිලා ලේඛන පිටපත් කර ඇති අතර ඇතැම් ඒවා පිටපත් කර නොමැත. ශිලා ලේඛන වනාහි ඉතිහාස අධ්‍යයනයේදී ප්‍රබල දායකත්වයක් ලබා දෙයි. රජගල අවට දක්නට ලැබෙන ශිලා ලේඛන වර්ග කිරීමේදී විවිධ වූ තේමාවන් යටතේ දැක්විය හැකිය.  

මිහිඳු මහ රහතන් වහන්සේ හා ඉට්ඨිය තෙරුන් පිළිබඳ සඳහන්ව ඇති ශිලා ලේඛනය
රජවරුන් හා කුමර-කුමරියන් භික්ෂූන්ට ප්‍රදානය කළ ලෙන් පිළිබඳ සඳහන් ලිපි
පරුමක හා ගමිකවරුන් භික්ෂූන්ට ප්‍රදානය කළ ලෙන් පිළිබඳ සඳහන් ලිපි
සාමාන්‍ය ජනයා භික්ෂූන්ට ප්‍රදානය කළ ලෙන් පිළිබඳ සඳහන් ලිපි
පුද්ගල නාම හා තනතුරු නාම සඳහන් ලිපි
ලෙන් නාම, ගුහා නාම හා පර්වත නාම සඳහන් ලිපි

මිහිඳු මහ රහතන් වහන්සේ හා ඉට්ඨිය තෙරුන් පිළිබඳ සඳහන් වී ඇති ශිලා ලේඛනය

“යේ ඉම දීප පටමය ඉදිය අගතන ඉදික තෙර-මහිද තෙරහ තුබෙ”  යනුවෙන් මහින්ද හා ඉට්ඨිය තෙරුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කොට නිර්මාණය කරන ලද කුඩා චෛත්‍යය පිළිබඳ සඳහන් වනු ලැබේ. මහාවංශයට අනුව දේවානම්පිය තිස්ස රජතුමාගේ කාලයේ මහින්ද තෙරුන් ප්‍රමුඛව ඉත්තිය, උත්තිය, සම්භල, භද්දසාල, සුමන සාමණෙර, භණ්ඩුක උපාසක යන පිරිස් සමඟ ලංකාවට බුඳදහම රැගෙන පැමිණීමෙන්  ලක්දිව බුඳදහම පිහිට වූ බව සඳහන්ය.  මහාවංශයේ දක්වනු ලබන තත් කරුණ සනාථ කිරීමට ඇති පුරාවිද්‍යා මූලාශයක් ලෙස රජගල පුර්ව බ්‍රාහ්මී සෙල්ලිපිය දැක්විය හැකිය. මෙම ශිලා ලේඛනයට අනුව මහින්ද මහ රහතන් වහන්සේ සමඟ ලක්දිවට පැමිණි ඉත්තිය, උත්තිය ආදී පිරිස ඓතිහාසික පුද්ගලයන් වන බව දැක්විය හැකිය. ශිලා ලේඛනයෙන් මිහිඳු මහ රහතන් වහන්සේගේ හා ඉත්තිය තෙරුන් යන දෙදෙනාගේ භෂ්මාවශේෂ තැන්පත් කොට චෛත්‍යය නිර්මාණය කළ බව සනාථ වේ. ශිලා ලේඛනයේ දැක්වෙන පරිදි “යේ ඉම දීප පටමය” යන්න විග්‍රහයට බඳුන් කරන සෙනරත් පරණවිතාන පෙන්වා දෙනු ලබන්නේ “මෙම දීපයට පූර්ව වාසනාවකට පැමිණි” යන අදහස ගම්‍ය වන බවයි. අනෙකුත් විචාරකයන් පෙන්වා දෙනු ලබන්නේ මෙම දීපයට සෘද්ධියෙන් පැමිණි යන අරත ඉන් ධ්වනිත වන බවකි. මෙම ශිලාලේඛනයේ දැක්වෙන ආකාරයට “තුබෙ” යන්න ස්තූපය සඳහා භාවිත වී ඇත. එසේම ධාතුන් වහන්සේලා තැන්පත් කොට චෛත්‍යය නිර්මාණය කිරීම අතීතයේ සිට පැවැති දෙයක් බව සනාථ කිරීමට ප්‍රමුඛ සාධකයක් වශයෙන් මෙම ශිලා ලේඛනය දැක්විය හැකිය.

රජවරුන් හා කුමර-කුමරියන් භික්ෂූන්ට ප්‍රදානය කළ ලෙන් පිළිබඳ සඳහන් ලිපි
“දෙවන පිය මහරඣහ ගමණී තිශහ පුත මහ යශ ඣය උපශික බුතදතය ලෙණෙ අගත අනගත චතු දිශ ශගශ”  යනුවෙන් ක්‍රි.පූ. 01වන සියවසේ ලියවී ඇති ලෙන් ලිපිය මඟින් උපාසිකාවන්  විසින් බුදු සසුන උදෙසා පුජාකරන ලද ලෙන් පිළිබඳ සඳහන්ය. උක්ත ලිපියේ අන්තර්ගතය පිළිබඳ සඳහන් කිරීමේදී දෙවන පිය ගාමිණී තිස්ස මහ රජුගේ පුත් තිස්ස කුමාරයාගේ  භාර්යාව වූ උපාසිකා බුද්ධදත්තාගේ ලෙන පැමිණි නොපැමිණි සතර දිශාවේ මහා සංඝයාට පුජා කෙරේ යන්න සඳහන් වේ. 
    
“දෙවන පිය මහරඣ ගමිණි තිශහ පුත මහ අයහ ඣය උපශික යහශිනිය ලෙණෙ”  යනුවෙන් දෙවන පිය මහරජ ගාමිණී තිස්සගේ පුත් කුමරුවාගේ භාර්යාව වූ උපාසිකා යසස්සිනීගේ ලෙන භික්‍ෂූන් උදෙසා පුජා කිරීමක් සිදුව ඇත. මෙහි පැමිණි නොපැමිණි සතර දිශාවේ මහා සංඝයාට යනුවෙන් සඳහන්ව නැතත් භික්ෂූන් උදෙසා මෙම ලෙන පූජා කර ඇත. 

“දෙවන පිය මහරඣහ ගමිණි තිශහ පුත මහ අයහ මහ ලෙණෙ”  දෙවන පිය මහරජ ගාමිණී තිස්සගේ පුත් කුමරායාගේ මහ ලෙන මහා සංඝයාට පරිත්‍යාගය කිරීම පිළිබඳ සඳහන් වනු ලැබේ. මේ අනුව රජ කුමාරවරුන් විසින් භික්ෂූන් උදෙසා ලෙන් පුජාකිරීම සිදුව ඇත.

“දෙවන පිය මහරඣ ගමිණි තිශහ පුත තිශයහ ඣය අබිඣතිය ලෙණෙ”  දෙවන පිය ගාමිණී තිස්ස මහ රජුගේ පුත්‍ර තිස්සගේ භාර්යා අභිජාතාගේ ලෙණ සංඝයාට පරිත්‍යාගය කිරීම පිළිබඳ සඳහන් වනු ලැබේ. මෙම ශිලා ලේඛනයට අනුව භික්ෂූන් උදෙසා ලෙන් පුජා කර ඇත්තේ කුමාරිකාවක් විසිනි. මේ අනුව ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව රජ කුමර කුමරියන් භික්ෂූන් වහන්සේලා උදෙසා පුජාවන් සිදු කර ඇත. විශේෂයෙන් රජකුමරුවන්ගේ ප්‍රිය භාර්යාවන් මේ ආකාරයෙන් ලෙන් පුජා කිරීම විවිධ කාලවකවානුවල සිදුව ඇත. 

“දෙවන පිය මහරඣ ගමිණි තිශහ පුතලඣක රඣහ ඉධ පතිටපිත සිත ලෙණෙ පචවීසති”  දෙවන පිය ගාමිණී තිස්ස මහ රජුගේ පුත්‍ර ලජ්ජීතිස්ස රජු විසින් මෙහි ශීත ලෙන් විසිපහ නිර්මාණය කොට භික්ෂූන්ට පුජා කරන ලදී. ලජ්ජිතිස්ස රජු විසින් භික්ෂූන්ට උෂ්ණ කාලයේදී විවේක සුවයෙන් ගත කිරීමට ශීත ලෙන් නිර්මාණයන් සිදු කළ බව මෙම ශිලා ලේඛනයෙන් අන්තර්ගතයෙන් තහවුරු වේ. ශීත ලෙන් විසි පහක් නිර්මාණය උපකල්පනය වනුයේ විශාල භික්ෂුන් ප්‍රමාණයක් වැඩ සිටි ආරාමයක් වශයෙන් රජගල විහාරය සමකාලයේ ප්‍රසිද්ධව තිබූ බවකි. එසේම වර්තමානයේ පවා මෙම ප්‍රදේශය ආශ්‍රිතව යම් තරමක උණුසුම් කාලගුණ තත්වයක් දක්නට හැකි අතර අතීතයේද ඒ ආකාරයෙන් තිබෙන්නට ඇති බවක් උපකල්පනය කළ හැකිය. එලෙස නිර්මාණය කරන ලද ශීත ලෙන් වර්තමානයේ පවා දක්නට ලැබෙන බැවින් ශිලා ලේඛනයේ සඳහන් පිදීම යථාර්තයක් වන්නට ඇත.   

“දෙවන පිය මහරඣහ ගමිණි තිශහ පුතහ තිශ අයහ ඣය උපශික ශමිකය ලෙණෙ”  දෙවන පිය මහරජ ගාමිණී තිස්සගේ පුත් කුමරාගේ  භාර්යාව වූ උපාසිකා සාමිකාගේ ලෙන මහා සංඝයාට පරිත්‍යාගය කිරීම පිළිබඳ සඳහන් වනු ලැබේ. උක්ත ශිලා ලේඛන කිහිපයේ දැක්වෙන පරිදි දෙවන පිය මහරජ ගාමිණී තිස්සගේ පුත් කුමරා හා ඔහුගේ භාර්යාවන් මැදිහත් වීමෙන් තත් ලෙන් කිහිපය පූජා කරන ලදී. මේ අනුව මහරජ ගාමිණී තිස්සගේ පුත් කුමරුන් හට භාර්යාවන් කිහිප දෙනකුම සිටි බව දක්වන්නට හැකි අතර ඔවුන් බුඳසසුන වෙනුවෙන් විශාල වශයෙන් අනුග්‍රහයන් සිදු කළ බවද දක්වන්නට හැකිය. මෙම පුජා කර ඇති ලෙන් විශාල ප්‍රමාණයක විවිධ ප්‍රමාණයේ කටාරම් දැකගත හැකිය. මේ ආකාරයෙන් කටාරම් සහිත ලෙන් භික්ෂූන්ට පුජා කිරීමට සඳහා විශාල වූ ආර්ථික ශක්තියක්ද තිබිය යුතු වන්නේය. මේ අනුව උපාසිකා යන තනතුරු නාමයෙන් හැඳින්වුවද මොවුන් වනාහි කුමාරිකාවන් වන්නට ඇත. එසේම තත් ශිලා ලේඛනයන්හි දෙවන ප්‍රිය නාමය දක්වා ඇත. මේ අනුව මෙම නාමය පරම්පරානුකූලව ගමන් කළ බවක් දක්වන්නට හැකිය. ප්‍රථම වරට දෙවන ප්‍රිය නාමය දේවානම් පියතිස්ස රජතුමා විසින් භාවිතයට ගන්නා අතර පසු කාලීනව විවිධ රජවරුන් විසින් දෙවනප්‍රිය නාමය භාවිත කළ බව ශිලා ලේඛන මඟින් තහවුරු වේ.  මෙම නාමය පසු කාලීන රජවරුන් විසින්ද ගෞරවනීය නාමයක් වශයෙන් තම නාමයට ඉදිරියෙන් හෝ පසු පසින් භාවිත කර ඇත.
උක්ත ශිලා ලේඛනයන්ට අනුව පෙනී යන්නේ විශාල වශයෙන් රාජ්‍ය අනුගහයක් මෙම විහාරය සඳහා අතීතයේ ලැබී ඇති බවකි. සද්ධාතිස්ස රජුගේ පුත්‍රයා වූ ලජ්ජිතිස්ස රජතුමා විසින් විශාල වශයෙන් අනුග්‍රහ කර ඇති බවක් දක්නට ලැබේ. එසේම තිස්ස කුමරුගේ ප්‍රිය භාර්යාවන්ද තත් විහාරයේ භික්ෂූන් හට පිදීම් බහුල වශයෙන් සිදු කර ඇත. 

පරුමක හා ගමිකවරුන් භික්ෂූන්ට ප්‍රදානය කළ ලෙන් පිළිබඳ සඳහන් ලිපි
ක්‍රි.පූ. 3 කාලයේ පටන් ක්‍රිි.ව. 3-4 දක්වා ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානයන්ගෙන් පරුමකවරුන් පිළිබඳ පුරාවිද්‍යාත්මක ශිලා ලේඛන සාධකයන් දැකගත හැකිය. ක්‍රි.පූ. 3 කාලයේ පටන් ක්‍රිි.ව. සියවස් කාලය දක්වා භික්ෂූන්ට පූජා කළ ලෙන් ආශ්‍රිතව පරුමක, භඩගරික, ගමික, ගහපති ආදී නාම සහිත ශිලා ලේඛන දක්නට ලැබේ.  පරුමක නාමය පිළිබඳ විවිධ විද්වත් මත දක්නට ඇත. පරුමකවරුන් සම්බන්ධව දැනට ඉදිරිපත් කර ඇති ප්‍රධාන මතවාද කිහිපයකි. එනම්,
H.C.P බෙල් මහතා අර්ථකථනය කරනු ලබන්නේ පරුමක යන්න ප්‍රධාන, මූලිකයා යන්නයි.

සෙනරත් පරණවිතාන මහතා පරුමකවරුන් හඳුන්වනුයේ ඉන්දියානු ආර්ය පරපුරකට අයත් විශේෂ ජන පිරිසක් වශයෙනි. 

මහාචාර්ය සුදර්ශන් සෙනවිරත්ත මහතා පරුමකවරුන් පිළිබඳ අර්ථ කථනය කරනු ලබන්නේ දකුණු ඉන්දියානු ජන සම්භවයක් සහිත පිරිසක් වශයෙනි.

මේ ආදි වශයෙන් පරුමකවරුන් පිළිබඳ විවිධ වූ මතවාදයන් දැක ගැනීමට ලැබේ. රජගල පුර්ව බ්‍රාහ්මී ශිලා ලේඛනයන්හි ඇතුළත් වන පුද්ගල තනතුරු නාමයක් වශයෙන් පරුමක නාමය දැක්විය හැකිය. රජගල පූර්ව බ්‍රාහ්මී ශිලා ලේඛනයන්හි පරුමක නාමය බහුල වශයෙන් දක්නට නොමැති අතර ශිලා ලේඛන කිහිපයක පමණ මෙම නාමය ඇතුළත්ව තිබේ.  

සෙනරත් පරණවිතාන මහතා විසින් රචිත ලංකාවේ ශිලා ලේඛන පළමු වෙළුම 0ග්‍රන්ථයේ මිහින්තලය පූර්ව බ්‍රාහ්මී ශිලා ලේඛනයන්හි 3, 7, 9, 19, 20, 25, 30, 38, 42, 59, 61, 62, 64, 72 ආදී වූ ශිලා ලේඛනයන්හි පරුමක යන තනතුරු නාමය පුද්ගල නාමයන් හා සම්බන්ධ වෙමින්  භාවිත වී ඇත. මෙම ශිලා ලේඛනයන්ට අමතරව ලංකාවේ බොහෝ පුරාවිද්‍යා ස්ථානයන්හි පරුමක නාමය සහිත ශිලා ලේඛන දක්නට ලැබේ. 

ප්‍රමුඛ, පරුමක, පරුමුක, පරුමුකා, පරුමය, පරුමු ආදී වශයෙන් මෙම නාම ව්‍යවහාරය ශත වර්ෂ ගණනාවක් ඔස්සේ විවිධ ආකාරයෙන් භාවිත වී ඇති බවක් දක්නට ලැබේ. පසු කාලීනව ‘මහා’ යන භාවිතය එකතු වී මහාපරුමක, මපුරුමුක ආදී වශයෙන් භාවිතය සිදු වූ බව සඳහන් වේ.  පරුමක හා මපුරුමුක යන්න ප්‍රදේශීය පාලකයන් හා රජවරුන් උදෙසා භාවිත වූ බවක් ශිලා ලේඛන අධ්‍යයනයේදී දක්නට ලැබේ. විද්වත් මතවාදයන්ට අනුව පරුමක යන්න පාරම්පරිකව පැවැතෙන විරුද නාමයකි. මෙය අධිපති යන්න සඳහා භාවිත වී ඇති බවක් දක්නට ලැබේ. රජගල පූර්ව බ්‍රාහ්මී ශිලා ලේඛනයන්හිද පරුමක නාමය භාවිත වී ඇති බවක් දැකගත හැකිය. 

රජගල පමණක් නොව මිහිත්තලය, බඹරගල, දුල්වල-අලදෙණිය, තෝනිගල, තෝරව මයිල්ලව විහාරය, වේරගල, සැස්සේරුව, කුඩුම්බිගල, කුසලානකන්ද ආදී පුරාවිද්‍යා ස්ථාන රාශියකින් පරුමකවරුන්ගේ ලෙන් පුජා පිළිබඳ සඳහන් වේ.  මේ අනුව රජගල පූර්ව බ්‍රාහ්මී ශිලා ලේඛන දැකගත හැකි පුද්ගල නාමයන් සහිත තනතුරු නාමයක් වශයෙන් පරුමක නාමය හඳුනා ගත හැකිය. ඒ අනුව පරුමක නම් වූ තනතුර දැරූ පුද්ගලයන්ද භික්ෂූන්ට ලෙන් පුජා කළ බව රජගල පූර්ව බ්‍රාහ්මී ශිලා ලේඛන මඟින් හෙළි වේ. 

“අබය මහරඣහ අයක ගමික අබයහ පුත ගමික චෙමහ ලෙණෙ”  අභය මහරජුගේ අයකැමි ගමික අභයගේ පුත් ගමික චේමගේ සමන්ත භද්‍ර ලෙන සංඝයාට දෙන ලදී. “පරුමක පණි තිශහ ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ”  ප්‍රධාන පණිතිසගේ ලෙන පැමිණි නොපැමිණි සතර දිශාවේ මහා සංඝයාට පිදූ බව මේ අනුව පෙන්වා දිය හැකිය. “පරුමක අගි පුත පරුමක තෙඣශ ලෙණෙ”  ප්‍රධාන අග්ගිගේ පුත්‍ර ප්‍රධාන තෙජසගේ ලෙන(සංඝයාට පරිත්‍යාග කිරීම). “පරුමක ගොදක පුත ශුමහ ලෙණෙ”  පරුමක ගොදකගේ පුත් සුමගේ ලෙන(සංඝයාට පරිත්‍යාග කිරීම).

මේ අනුව රජවරුන්, කුමර-කුමරියන් පමණක් නොව පරුමක හා ගමික තනතුර දැරූ පුද්ගලයන්ද භික්ෂූන් උදෙසා ලෙන් පුජා කිරීම සිදු කළ බව දැක්විය හැකිය. පසු කාලීන විශාල වශයෙන් පරුමකවරුන් හා ගමිකවරුන් විසින් භික්ෂූන් සඳහා ලෙන් පූජා කළ බව මිහින්තලය, කුඩුම්බිගල, මහකන්ද නැගෙනහිර ගුහා ආදි ශිලා ලේඛන මඟින් තහවුරු වේ. 

පැරණි පාලන තන්ත්‍රයේ ග්‍රාමය පාලනය කරන ලද ප්‍රධානියා ගමික වශයෙන් දක්වා ඇත. ඇතැම් ගමිකයන්ගේ පියවරුන්ද පුත්වරුන්ද ගමිකයන් වූ බවත් පරම්පරානුගතව මෙම නිල නාමය ගමන් කළ බව ශිලා ලේඛන මඟින් තහවුරු වී ඇත. ඇතැම් ගමිකවරුන් ඇමැති, මහා ඇමති, භාණ්ඩාගාරික ආදී තනතුරු දැරූ බව මිහින්තලා ශිලා ලේඛනයන්ගේ අන්තර්ගතයෙන් පෙන්වා දිය හැකිය. මේ අනුව රජගල පුර්ව බ්‍රාහ්මී ශිලා ලේඛනයන්හි ගමික යන පුද්ගල තනතුරු නාමයද ඇතුළත් වී ඇති අතර එක් ශිලා ලේඛනයක පමණක් සඳහන් වී ඇත.

සාමාන්‍ය ජනයා භික්ෂූන්ට ප්‍රදානය කළ ලෙන් පිළිබඳ සඳහන් ලිපි
  • “බත දමගුතශ ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ”  බත ධම්මගුත්තගේ ලෙන පැමිණි නොපැමිණි සතර දිශාවේ මහා සංඝයාට පුජා කෙරේ.
  • “බත සමුදගුතශ ලෙණෙ ශගශ”  බත සමුද්ද ගුත්තගේ ලෙන මහා සංඝයාට 
  • “තිශගුත තෙරහ ලෙණෙ ශගශ”  තිස්ස ගුත්ත තෙරුන්ගේ ලෙන සංඝයාට
  • “බත තිශහ ලෙණෙ ශුදශනෙ ශගශ”  බත තිස්සගේ සුදස්සන නම් ලෙන සංඝයාට
  • “ශුරි තෙරහ ලෙණෙ ශගශ”  සුරි තෙරුන්ගේ ලෙන සංඝයාට
  • “බත නුගහ ලෙණෙ අශ අගත අනගත චතුදිශ ශගශ”  බත නුගගේ අග ලෙණ පැමිණි නොපැමිණි සතර දිග මහා සංඝයාට
  • “ශිව තෙරශ ලෙණෙ”  ශිව තෙරුන්ගේ ලෙන (සංඝයාට පරිත්‍යාග කිරීම).
  • “උපශක දතශ ලෙණෙ” උපාසක දත්තගේ ලෙන (සංඝයාට පරිත්‍යාග කිරීම).
  • “නගසෙන තෙරහ ශුදසනෙ”  නාගසේන තෙරුන්ගේ සුදස්සන (නම් ලෙන සංඝයාට පරිත්‍යාග කිරීම).
  • “බුදරකිත තෙරහ ලෙණෙ බයබෙරවෙ”  බුද්ධරක්ඛිත තෙරුන්ගේ භයබෙරව නම් ලෙන(සංඝයාට පරිත්‍යාග කිරීම).
  • “තිශබුති තෙරහ ලෙණෙ මහපදසනෙ”  තිස්ස භූති තෙරුන්ගේ මනාපදස්සන නම් ලෙන(සංඝයාට පරිත්‍යාග කිරීම).
  • “නදික තෙරහ ච බත නමලිය ච ලෙණෙ ඉදශල ගුහෙ”  නන්දික තෙරුන්ගේද බත නමලිගේද ඉන්දසාල නම් ගුහා ලෙන(සංඝයාට පරිත්‍යාග කිරීම).
  • “නග තෙරහ ලෙණෙ ඉදසල ගොහ”  නාග තෙරුන්ගේ ඉන්දසාල ගුහා නම් ලෙන (සංඝයාට පරිත්‍යාග කිරීම).
  • “තිශමිත තෙරහ ලෙණෙ පුඩලඣකෙ”  තිස්සමිත්ත තෙරුන්ගේ පුඩලඣක නම් ලෙන (සංඝයාට පරිත්‍යාග කිරීම).
  • “තිශමිත තෙරහ ලෙණෙ ශගශ”  තිස්සමිත්ත තෙරුන්ගේ ලෙන සංඝයාට
  • “උපතිශහ ලෙණෙ”  උපතිස්ස ලෙන (සංඝයාට පරිත්‍යාග කිරීම).
  • “දමරුචි තෙරශ ලෙණෙ”  ධම්මරුචි තෙරුන්ගේ ලෙන (සංඝයාට පරිත්‍යාග කිරීම).
උක්ත ශිලා ලේඛනයන්ට අනුව සාමාන්‍ය පිරිස්ද භික්ෂූන් වහන්සේලා උදෙසා පූජා කිරීම් සිදු කර ඇත. විශේෂයෙන් උපාසක යන නාමයෙන් හැඳින්වෙන පිරිස් ලෙන් පූජා කළ ශිලා ලේඛන ඇසුරෙන් පෙන්වා දිය හැකිය. මෙහිදී පෙර භික්ෂූන් වාසය කළ ලෙන් පසුව නැවත භාවිතයට හෝ පූජා කළ බවක් උක්ත ශිලා ලේඛනයන්ගෙන් පැහැදිලි වේ. විවිධ තෙරවරුන්ගේ නාමයෙන් හැඳින්වූ ලෙන් එම තෙරවරුන් වැඩසිටි ලෙන් විය හැකි අතර පසුව උන්වහන්සේලා එම ස්ථානයෙන් ඉවත් වීමෙන් පසුව නැවත එම ලෙන පිරිසිදු කොට පූජා කර ඇති බවක් උපකල්පනය කළ හැකිය. මෙහිදී විශේෂයෙන් සමාන්‍ය ජනතාව ලෙන් පිදූ බව තරයේම කිවනොහැකි අතර උපකල්පනය පමණක් සිදු කළ හැකිය. ලෙනක් නිර්මාණය කොට භික්ෂූන්ට පුජා කිරීම සඳහා යම් වූ ආර්ථික තත්වයක් තිබිය යුතුය. එසේ නම් වඩාත් හොඳින් ආර්ථික තත්වයක් නොමැති ජනයා කලින් නිර්මාණ කළ අතහැර දැමූ හෝ භාවිතයට නොගන්නා ලෙන් නැවත නිසි ලෙස පිරිසිදු කොට පුජා කළ බව ඒ අනුව උපකල්පනය කළ හැකිය.

රජගල පුර්ව බ්‍රාහ්මී ශිලා ලේඛනයන්හී අන්තර්ගත ලෙන් නාම, ගුහා නාම හා පර්වත නාම

සමන්ත භද්‍ර ලෙන  - මෙම ලෙනෙහි අයිතිය පිළිබඳ සඳහන් වී ඇත්තේ ගමික චේමගේ ලෙන වශයෙනි.
  
සීහමුඛ ලෙන  - මෙම ලෙන තිස්ස ගුත්ත තෙරුන්ගේ ලෙන වශයෙන් දක්වා ඇති අතර සීහමුඛ යනු සිංහ කටය යන්නය. ඇතැම් විටකදී ලෙනේ ස්වාභාවය අනුව මෙම ලෙනට මෙවැනි නාමයන් භාවිත වන්නට ඇති බව උපකල්පනය කළ හැකිය. සීගිරියේ නයිපෙන ගුහාව, රජගල වවුල් ලෙන ආදී ගුහාවන්ට නාම යෙදී ඇත්තේ එහි ස්වාභාවය අනුවය. මේ අනුව පුරාණයේද ස්වාභාවය අනුව නාම යෙදෙන්නට ඇති බව දැක්විය හැකිය. 

සුප්පතිට්ඨිත ලෙන  - සුප්පතිට්ඨ යනු මැනවින් පිහිටි යන අර්ථය ගෙන දෙනු ලැබේ. මෙම ලෙනෙහි අයිතිය තහවුරුව ඇත්තේ සිව භූතිගේ ලෙන වශයෙනි. 

සුදස්සන ලෙන  - මෙම ලෙන් නාමය පිළිබඳ සෙල්ලිපි දෙකක සඳහන් වී ඇත. නාගසේන තෙරුන්ගේ සුදස්සන ලෙන හා තිස්ස තෙරුන්ගේ සුදස්සන ලෙන වශයෙනි. සුදස්සන  නාමය ශිලා ලේඛනයන්හි භාවිත වී ඇති නාමයක් වන අතර පෙරියන්කුලම ගිරි ලිපිය වැනි ශිලා ලේඛනයන්හි සුදසන පතනගල වශයෙන් යෙදී ඇත.  එසේම මහා සුදශන ලෙණෙ, බත දිනශ ලෙණෙ ශුදශනෙ වශයෙන් ආඬියා කන්ද හා වැලියාය සෙල් ලිපිවල දක්වා ඇත.  

මනාපදස්සන ලෙන - තිස්ස භූතී තෙරුන්ගේ ලෙන වශයෙන් තත් ලෙන දක්වා ඇති අතර මනාපදස්සන ලෙන වශයෙන් ශිලා ලේඛන කිහිපයකම දක්නට ලැබේ. මෙහිදී බඹරගල පුරාවිද්‍යා කේෂත්‍රයේ දක්නට ලැබෙන ශිලා ලේඛනයකද ‘උතර ගුත තෙරහ ලෙණෙ මනපදශනෙ’ යනුවෙන් යෙදී ඇත.  එසේම තිස්සභූතිගේ මනාපදස්සන ලෙන වශයෙන් මිහින්තලා සෙල්ලිපිවල දක්වා ඇත.  මේ අනුව මනාපදස්සන නාමය ශිලා ලිපි ගණනාවක යෙදී ඇති අතර එය කාලයත් සමඟ භාවිතා වූ පොදු නාමයක්ද විය හැකිය. එහි අර්ථය වනුයේ දැකීමට ප්‍රිය වන්නාවූ යන්නය. 

භයභේරව ලෙන - බුද්ධරක්ඛිත තෙරුන්ගේ ලෙනක් වශයෙන් දක්වා ඇති අතර රජගල පුර්ව බ්‍රාහ්මී ශිලා ලේඛනයන්හී දක්නට හැකි ලෙන් නාමයක් වශයෙන් මෙය දැක්විය හැකිය. 

ඉන්දසාල ගුහා ලෙන - මෙම නාමය සහිත ශිලා ලේඛන දෙකක් දක්නට ලැබේ. මෙම නාමය පිළිබඳ සඳහන් කිරීමේදී බඹරගල ශිලා ලේඛනයන්හීද මෙම නාමය දක්නට හැකි වන්නේය. ඉන්දසාල ලෙන යනු බෞද්ධ සාහිත්‍යයේ පවා දැක්වෙන නාමයකි. බුඳරජුන් සක්දෙවිදුන් හට ධර්මය දේශනා කරන ලද්දේ ඉන්දසාල ගුහාවේ සිට බව බෞද්ධ සාහිත්‍යයේ දක්නට ලැබේ. 

පුඩලඣකෙ ලෙන - තිස්ස මිත්ත තෙරුන්ගේ පුඩලඣක ලෙන ලෙස දක්වා ඇති මෙම ලෙන් නාමය රජගල ශිලා ලේඛනයන්හි දක්නට හැකිය. 

චනතිස්ස පබ්බතය - රජගල පූර්ව බ්‍රාහ්මී ශිලා ලේඛනයන්හි දක්නට ලැබෙන පර්වත නාමයක් වශයෙන් චනතිස්ස යන්න හ`ඳුන්වා දිය හැකිය. මෙම පර්වතයේ ඵුස්ස තෙරුන් වැඩවසන බව දක්වා ඇත.

නිගමනය 

උක්ත ශිලාලේඛනයන්හි අන්තර්ගත කරුණු පිළිබඳ අවධානය යොමු කිරීමේදී ලංකා ඉතිහාසයේ වැදගත් කරුණක් වශයෙන් සාහිත්‍යය මූලාශයන්හි හා වංශකථා සාහිත්‍යයේ සඳහන් වනු ලබන මිහිඳු මාහිමියන්ගේ ලංකාගමන පිළිබඳ සත්‍යතාවයක් පෙන්නුම් කරන තත් ශිලා ලේඛනය වැදගත් වේ. ඒ අනුව වංශකථාවන්හි අන්තර්ගත කරුණු සනාථ කිරීමට යථෝක්ථ ශිලා ලේඛනය සමත් වී ඇත. එසේම ක්‍රි.පූ. යුගයේ සිට ක්‍රි.ව. යුගය දක්වා ලංකාවේ විවිධ පිරිස් විසින් ප්‍රදානය කළ ලෙන් පිළිබඳ ලංකාවේ විවිධ ස්ථානයන්හි දක්නට ලැබේ. මේ අනුව රජගල පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේද විවිධ පිරිස් විසින් ප්‍රදානය කළ ලෙන් හා ගුහා දැකගත හැකි වේ. එම ලෙන්හි සඳහන් වී ඇති ශිලා ලේඛන මඟින් රජවරුන්, කුමර, කුමරියන්, උපාසිකාවන්, උපාසකයන්, පරුමකවරුන්, ගමිකවරුන් ආදී පිරිස් මෙම ලෙන් පිදූ බව තහවුරු වනු ලැබේ. එසේම මහාවංශයේ සඳහන් වන පරිදි ලජ්ජිතිස්ස රජතුමා විසින් මෙම විහාරය නිර්මාණ කරන ලදී. මෙම කරුණ යම් ආකාරයකින් සනාථ කිරීමට උක්ත ශිලාලේඛනයේ අඩංගු වන ශීත ලෙන් විසිපහ පුජාකිරීම දැක්වෙන ශිලාලේඛන වැදගත් සාධකයක් වේ. එසේම සමකාලීන සමාජයේ භාවිතා වූ නාම, තනතුරු හා ලෙන් නාම පිළිබඳ ශිලා ලේඛන අන්තර්ගතයෙන් තහවුරු වෙයි. මේ අනුව මූලික වශයෙන් රජගල පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ දක්නට ලැබෙන පුර්ව බ්‍රාහ්මී ශිලාලේඛන මඟින් සාහිත්‍ය මූලාශයන්හි හා වංශකථාහි අන්තර්ගත තොරතුරු හා තත් සමාජයේ බුඳසසුන කෙරෙහි ප්‍රභූ පිරිස් හා සමාන්‍ය ජනයා කුමන ආකාරයෙන් අනුග්‍රහයන් සිදු කළේද යන්න සනාථ කිරීමට සාධක සපයනු ලැබේ.